Wednesday, April 14, 2010

රොබරෝසියා

බොහෝ වේලා මහමඟ අසළම රැඳී සිට දෙපා මෙන්ම හිතත් හිරිවැටී ඇති සෙයකි.මගේ අසල්වැසියා මා කථාවකට ඈඳා ගැනීමට දරණ තැත මුවඟට සිනාවක් නංවයි.ඔහුගේ වියපත් මුනේ දක්නට ලැබෙන ජීවිත කථාව මුවින් පිට වෙන කථාවට වඩා සිතඇදගන්නා සුලුයි සිතමින් හු මිට තැබීම් හැර වෙන යමක් කිරීමට සිත අවසඟය. "මේ වතාවේ පෝයටවත් සිල්ගන්නවා කියලා මං නෝනට කිව්වා.ඒකයි මං මේ යන්නේ.මහත්තයත් ඊළඟ වතාවේ පෝයට එන්ඩ.තනියම සිල් ගන්නවා කියන්නෙත් එපා වෙන වැඩක්!" වත්ත සුද්ද කරන එකත් තියලයි මේ ආවේ.කොහෙද ඉතින් බේරෙන්න බැනේ." ඇසිපිය ගසන තරමට ඉක්මනට නොවුනත් කාලය සැබැවින්ම ඉක්මනට ගෙවී අතැයි මට සිතේ.පාසල් යන්නට නැවැති සිටි නැවතුමේම වසර ගණනක් ඉකුත්ව සිටගෙන සිටිනා කල්හි සිත පොර නොබැඳීමම විශ්මයකි.අසල්වැසියගෙ කථාවට තිත තබමින් ඈතින් එන බස් රථය හිතට මෙන්ම දෙපයටද සැනසුමක් ගෙන ආවේය. "මං මේකේ යන්නම් බලමුකෝ එන පෝයට.." ඔහුටද සැන්සුමක් දෙමින් කථාවට තිත තෙබු ඉනික්බිතිව බසයට නැගුනු ක්ෂණයෙන් සිත කෑගසන්නට විනි.මගේ අසල්වැසියා ,ශාන්ත මෙන්ම මාත් වියපත් වැඩිහිටියෙකි.මා කළයුත්තේ ද බණක් භාවනාවක් කරගෙන සිටීම නොවේද?ඒත් ශාන්ත මා නැවතුණු තැනින් කොපමණ දුර ගොස් ඇතිද?බිරියක් දරු මුණුබුරන් සහිත කුටුම්බයක් විශ්‍රාමික සුවයක් සේම මිනිසෙකුගෙ පොදු සිහින හේ යථාර්තයක් කර ගෙන ඇත්තේය. නමුත් කාලයට මා පසුකරයන්නට ඉඩදී සිතාමතා නොවුනත් මම පොදු යථාර්තයෙන් බැහැර වී ඇත්තෙමි. ජනේලයෙන් ඉවත බැලූවිට පෙනෙන දසුන සිත්තරෙකුගේ සිතුවමක් බඳුය.රොබරෝසියා මල් වැටුනු මාවතේ බස් රථය ඇදෙමින් පවතී.නෙත් අලවනසුලු ලෙස මලින් පිරී ගිය රොබරෝසියා මලින් පිරී ගිය ගස් දැකීමත් සමඟ සියුම් සුසුමක් මුවෙන් පිට වුනේ නොදැනීමය.රොබරෝසියා මල් මගෙ මතකය ඇදුම් දීමට තරම් රළු යැයි කිසිවෙකුට ඉඟියකුදු නොවීමට මම ඉවත බලා ගත් වනම සිටියෙමි. මම තවත් සුසුමක් හෙලීමි. 'මොන ලස්සනක් ද?ඔය මල් හෙට පර වෙනවා.' 'වාහන වලට චප්ප වෙලා යනවා' මා හිතත් එක්ක තර්කයට වැටුනේය.බස් රථය නැළ්වෙමින් ගමනනාන්තය දක්වා සිය ගමන යයි.රොබරෝසියා මලක් මෙන් මගේ සිත පරව යයි. "මේ මල් හරිම ලස්සනයි නේද?හීනයක් වගේ...." අවදිවුනු මතකයෙන් නැඟී එන කාන්තා හඬ දෝංකාර හඬ නංවයි.සත්‍යයකි.එය සිහිනයක් විය යුතුමය.මේද සිහිනයක් යැයි මට සිතේ.තිගැස්සී ඇහැරුනු ඇසිල්ලකින් මේ මා දකින අසුන්දර සිහිනය බොඳව ගොස්,එක්ව මැවු සිහිනයක මා නැවත නිදිවරනු ඇත.මගේ ඇස් මගේ ඇඟිලි වෙත යොමු වුනේ නිතැතින්මය.උණුසුම්ව ඒ ඇඟිලි අතර සිරවුනු සිනිඳු ඇඟිලි ඒ හීනයේම කොටසකි.රැළි වැටුනු අඟිලිවෙතින් මම නෙත් ඉවතට ගතිමි. බසය වැව රවුමට වෙනතෙක්ම පැමිණ ඇති සුළඟත් සමඟ ඉදිරි අසුනේ සිටි තරුණියගේ කෙස් කළඹ මාගේ මුහුණ මත රැඳුනි.නාස් පුඩු විනිවිද ගිය එහි සුවඳ මතකයක නෂ්ඨාවශේෂ නැවත රැගෙන ආවේය.දෑතින්ම එය ඉවත් කර නැවත ජනේලයෙන් ඉවතට නෙත් යැවීමි. "සොරි අන්කල්" තරුණියකගේ කෙඳිරිල්ලකි.මා ඉවත බලාගත් වනම සිටියෙමි. උ/පෙළ කඩඉම දක්වා ජීවිතය තුළ කෙතරම් සොඳුරු කාන්තා රුවන් දෙනෙත් මත ඇඳුනත්;සරසවිය තුළ ඇසගැටුනු ඇය තරම් ඒ රූ සිත් රැඳුනේ නැත. ශිෂ්‍ය සංගම්,සමිති සමාගම් පොත් පත අතර මගේ විප්ලවකාරී යෞවනය ශිලක්ව තිබුණත් අතීතයේ දිනක මේ වැවරවුම වට අතැඟිලි සිරකරගෙන ඇවිද ගිය ඕ සිත මලක් මෙන් සුමුදු කළාය. දැන් සිත මලක් මෙන් පරව යා යුතුය.... බස් රථය වාහන තදබදය අතර සිර වුනු අතර මා සිතුවිලි අතර සිර විනි. වැව් දිය මත රැළි ඇති වෙමින් නැති වේ.ජල තලය සිපගත් රොබරෝසියා මල් මගෙ සිත දවයි. ඇය මුලින්ම දුටු දිනය මා මතකයෙන් බෙහර නොවේ.දුටු පමණින් මා ඇය වෙත බැඳුනෙම්ද?නැත නැත...මා සිත පැහැර ගත්තේ ඇගේ රුවම පමණකදු නොව. සරසවි ශිෂ්‍ය සංගමයේ රැස්වීමක සිසුන් අමතා කළ කථාවෙන් පසු ඇසුණු ඇගේ හඬ මා සවනතේ යලිත් ඇසෙයි. "ඔය කියන සමාජවාදේ කරන්න තමා බැරි! බලන්න අසූ ගණන් වල කී දෙනෙක් තරුණ අය මැරුණද?ඔය මහ ලොකුවට කෑ ගහන පක්ෂ එදා මැරුණු එක ජීවිතයක් ගැනවත් හිතනවද?ලෙනින්ලා,කාල් මාක්ස්ලා කියන සමාජවදේ ඔතන නෑ...සටන් කරලා අයිතිය දිනා ගන්න ඉස්සල්ලා,සටන් කරන මනුෂ්‍යත්වෙයි දිනා ගන්න ඕනි. රතු අඳින්න ඕනි,විප්ලවකරයො වෙන්න ඕනි;ඉස්සල්ලා මිනිස්සුන්ගේ හිතේ ,මනුස්සකම ඇතිකරවන්නයි ඕනි....ආණ්ඩු පෙරලන්න කලින් මිනිස්සුන්ගේ හිත් පෙරලන්නයි ඕනි" ඇය විවේචනය කරමින් සිටියේ මගේ කතාවයි.ක්ෂණයෙන් මා ඇය වෙත හෙලු බැල්ම ඇය නිහඬ නොකල බව මට මතකය.ඈතින් ඈතට පියමනින විට ඇයට අභියෝග කරන්නට මගේ සිත නොදැමුනු බවද මතකය. මගේ සිතුවිලි මෙන් බස් රථයද එක තැන නැවතී ඇති සෙයකි.සරසවිය තුළ මට පාඩම් ඉගැන්වු ගුරුතිමිය වූයේ ඇයයි.විවේචන තර්ක විතර්ක පමණකදු නොවආදරයේ හන්තාන හෝඩියද මට උගැන්වූවේ ඇයයි.විටෙක ළදැරියක් මෙන් සිනා සෙමින් බොළඳ කථා කියන ඇයම විටෙක මාගේ බරපතලම විවේචිකාව බවටද පත් වේ. 'මතු දිනක මේ පිටුව දිරාගොස් මැකී ගිය පසුද වචනද... ඉනික්බිතිද නුඹට මා මතක නම්...... එපමණයි අවැසි මට මගේ විප්ලවකාරයෝ....' බස් රථය සෙමින් ගමනාන්තය දක්වා පැමිණ ඇත. "ලියුමක් වත් එවන්න මට....මාව අමතක කරන්න එපා..." මෙතැනම ඇය පැවසූ වදන් තවමත් මට සිතට බර වැඩිය. මා ඇය අමතක නොකලෙමි.නමුදු ඇයට මා අමතක නොකරලන්නට මතක් කර දිය නොහැකි විය. "කැම්පස්,පේරාදෙනිය,පේරාදෙනිය" මහ හඬින් කන අසල ඇහෙන හඬ තවත් දිග සුසුමක් පිටතට හැරලූයේය. "කැම්පස්,පේරාදෙනිය,පේරාදෙනිය"

3 comments: